Local News - දේශීය
Posted on July 16, 2025, 05:42
නිවන ඈත නොව මෑතයි
පින්වත, ඔබ කැමති කරන දේවල් ගොඩාක් තිබෙනවා නේද? ඒත් ඉතින් කැමැත්ත තිබිලා විතරක් හරි යන්නේ නැහැ. ඔබේ කැමැත්ත යථාර්ථයක් බවට පත් කොට ගන්න අවශ්‍ය පිනත් ඔබට තිබෙන්නට ඕනේ. පින්වත, ඔබේ පින දුර්වල නම්, සෑමවිටම ඔබේ කැමැත්ත බලාපොරොත්තු කඩවීමක් ම වෙනවා. පින්වත, දේවදත්ත හාමුදුරුවන්ටත් උතුම් බුද්ධත්වයට පත් වීමේ බලාපොරොත්තුව තිබුණ නේ. පින්වත, එම මිච්ඡා බලාපොරොත්තුව අවසන් වුණේ අවිචී මහා නිරයෙන්. පින්වත, අපි ලද දෙයින් සතුටු වෙනවා වගේ ම, නොලද දෙය ලබා ගැනීමට ධර්මානුකූලව වීර්යය වැඩිය යුතුයි. පින්වත, ඔබ නොලද දෙයට වගකිවයුත්තා සමාජය නොවේ, ඔබේ ම පිනේ දුර්වලභාවයයි. පින්වත, ඔබ නොලද දෙය ගැන ඔබ ගැටෙනවා නම්, ඒ ඔබ ගැටෙන්නේ ඔබේ ම දුර්වල පින සමගයි. පින්වත, ඔබේ ම දුර්වල පින සමග ඔබ ගැටුණොත් තව තවත් පව මයි ඔබ තුළින් ශක්තිමත් වෙන්නේ. පින්වත, ඔබ තුළින් කර්මය කර්මඵල විශ්වාසය වියෝ වෙද්දී, ඔබ තුළින් ආත්ම දෘෂ්ටිය පණ ලබන්නේ ලජ්ජාව සහ බිය නමැති මනුෂ්‍ය ධර්මයන් අවිද්‍යාවේ කුණු කූඩයට දමමින් මයි. පින්වත, ඵස්සය ඉදිරියේ තෘෂ්ණාව කලබල කරන බව ඇත්ත. තෘෂ්ණාවේ කලබල සිහිනුවණින් මැඩගෙන තම යහපත් ඉලක්කයන් දිනා ගන්නා මාර්ගයයි, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි කියන්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයාට අනාගත බලාපොරොත්තු නැහැ. උන්වහන්සේලා ලද දෙයිනුයි සතුටු වෙන්නේ. නොලද දෙය උන්වහන්සේලාට ධම්මානුපස්සනාවට කමටහනක් මයි.